වසරකට අදික කාලයක් අම්මගෙන් ඈත්වී කොළඹට වී අධ්‍යාපන කටයුතුවල නිරතව අවිවේකීව සිටි මට, ලැබුණු කුඩා නිවාඩුවට ගමට පැමිණි මට අම්මා උණුඋණුවෙම හදා දුන් කිරි කෝපි කෝප්පය දිව්‍ය පානයක් විය.
කිරි කෝපි කෝප්පය අතට ගත් මම නිරායාසයෙන්ම ඇවිද ගියේ නිවස ඉදිරිපස වෙල්යාය පෙනෙන පඩිපෙළ වෙතටයි.උඩම පඩියෙ වාඩි වූ මම අම්මා හදා දුන් කිරි කෝපි කෝප්පය බිඳෙන් බිඳ තොල ගාන්නට වූයෙමි. පහලින් පෙනෙන වෙල් යාය දෙස බලා සිටියදී මට මතක් වූයේ අපේ මුදියන්සේ අත්තා කියූ කතාවකි.
දිනක් මම අපේ ගෙදර සිට මුදියන්සේ අත්තා සමග කන්දේ ගෙදරට යන්න පිටත් වූයේ අසනීප වී සිටි සිරිල් අයියා බැලීමටයි .අපේ පඩි පෙළෙන් බැස මහ නියරට පිවිසි මම අත්තා ට ඉදිරියෙන් උඩ පැන පැන යනු දැක අත්තා මහ හඬින් සිනාසෙන්නට විය
"ඇයි අත්තා හිනා වෙන්නෙ "ඇසූ මට
"පුතා නිකං කොරවක්කෙක් නෙළුම් කොළේ උඩ යනව වගේ ඇවිදින්නේ" කියමින් අත්තා තවත් සිනා සෙන්නට විය .
"ඉතිං ඇත්තේ නියර මඩ වෙලා නේ කකුල්වල මඩ ගෑවෙන නිසා පැන පැන යනවා" යැයි මම කීවෙමි.
"පුතත් හරියට අපේ ඒබරං මී මුත්ත වගේ"යැයි අත්තා කීවේය.
"කවුද අත්තේ ඒබරං මීමුත්තා" ඇසූ මට අත්තගෙ පිළිතුර වූයේ
"ඒ මගේ මීමුත්තා එයා කරපු වැඩක් නිසා තමයි අපේ ගමට හතරලියද්ද කියන නම ලැබිලා තියෙන්නෙ.
"අනේ .... ඒ කතාව කියන්නකො" කියමින්මුදියන්සේ අත්තාට මම නෙනවත්වා ම ඇවිටිලි කළෙමි.
"හා... හා... දරුවෝ... මං ඒ කතාව කියන්නම්" මුදියන්සේ අත්තා උගුරේරැල් බුරුල් හැර,
"ඔන්න අපේ මී මුත්තා තමයි ඒ කාලේ මේ වෙල් යාය අස්වද්දලා තියෙන්නේ. උන්ද බොහෝම යස ගොවිරාල කෙනෙක්.ඉතිං ඔන්න එක කන්නෙක උන්දෑ මේ යායම හාලා පෝරු ගාලා ඉවර වෙලා."අන්න අර ගල් පොත්ත උඩ වාඩිවෙලා බුලත්විටක් ඒදන්න ලෑස්ති වුණා, ඊට පස්සේ හොඳ බුලත් විටක් කටේ දාගෙන කුඹුර දිහා බලපු ඒබරං මීමුත්තාගෙ හිත බොහෝම රිදුනා.
"ඇයි අත්තේ එච්චර මහන්සි වෙලා මේ මුළු යාම පෝරු ගාලා ඉවර වුණාට පස්සේ අත්තාගේ මී මුත්තාට දුක හිතුනෙ" යැයි මම ඇසූ විට අත්තා
"අනේ ඉතින් මෙච්චර මහන්සි වෙලා පොරු ගාලා ඉවර වුණාට පස්සේ ලියද්දි තියෙන අඩිපාරවල් කියලා හිතලා තමයි ඒබරං මීමුත්තාට දුක හිතුනේ හැබැයි ඉතින් උන්දෑ මේ විදියට ලියද්දෙ අඩිපාරවල් හිටින්නෙ නැති වෙන්ට කොරමේකුත් හොයාගත්තා" යැයි පැවසීය.
"ඒ මොකක්ද අත්තේ ඒ ක්‍රමේ"කුතුහලය ඉහවහා ගිය මම ඇසීමි.
"ඔන්න ඉතින් අපේ ඒබරං මීමුත්තා තව ගොවිරාල දෙතුන් දෙනෙක් එක්ක කතා කරලා මැස්සක් හදලා ඒක උඩ නැගලා නැගලා වී ඉහින්න තීරණය කළා.ඊට පස්සේ මේ ගොවි රාලලා එකතුවෙලා ලී දඬුවලින් මැස්සක් හදලා අපේ මී මුත්තා ව ඒක උඩ ඉන්දවල හතර දෙනෙක් ඒ මැස්ස කොන් හතරේන් උස්සලා කරේ තියාගෙන කුඹුරේ වී වැපිරුවා"
"අනේ අත්තේ ඉතින් එතකොට හතර දෙනෙක්ම ලියද්දෙ ඇවිදිනවා නේ එක්කෙනෙක් වෙනුවට" යැයි මා පැවසූ විට
" ඒක තමා පුතේ කියන්නෙ එක්කෙනෙක්ගෙ අඩිපාරවල් වෙනුවට හතර දෙනෙක්ගේ අඩිපාරවල් ලියද්දෙ ඇතිවුණා .ඒ නිසා මේ පළාතට අන්තිමේට "හතරලියද්ද" කියලා නමක් ඇති වුණා" කියූ අත්තා මහ හඬින් සිනාසෙන්නට විය.
"මොනවද ළමයො මේ වෙල දිහා බලං කල්පනා කරන්නේ" පිටට තට්ටු කල අම්මාගේ හඬින් මම පියවි ලෝකයට පිවිසුනෙමි.
"යමු කෑම ලෑස්තියි" කියා අම්මා පැවසූවිට අන්තිම තේ උගුරක් බිව් මම අම්මගේ අතින් ඉයු බත් වේලක රස බලන්න ට අම්මාත් සමග ගෙට ගියෙමි.
